දෙණේ පළිගසන තිරිසන් රටකද අපි ඉන්නේ....?





ප්‍රභාකරන්ගේ මව ආදාහනය කළ අළුගොඩ මත වෙඩිතබා මරා දැමූ බලු කුණු තුනක්
- (බුදුන්ගේ දේශයෙන් වාර්තා වූ පුවතක්)

බණේ දන්න උන්ගෙන් වෙඩිකා මියගිය බල්ලා 
තනේ කිරි දුන්නු මව්ගේ සොහොනේ දැප වෙම්මා 
අනේ අළු නොවී නොමැරී සිටියේ නම් අම්මා 
මරා දැමූ බල්ලන්ටත් සෙනෙහෙ උපදවන්නා 


අනේ බණෙන් අළුයම අපි ඇහැරෙන්නේ 
ගුණේ හොඳ පිරිත් පැණියෙන් නාවන්නේ 
කොනේ දත් අතර බුදුරැස් හප වෙන්නේ 
කුසේ දඩමසිනි හිස්තැන් පුරවන්නේ 


මුහුද තරම් අම්මාවරු වැලපෙන්නේ 
අහස තරම් ලේකිරිකර පුද දෙන්නේ 
මහ පොළොවටත් වැඩියෙන් දුක් උහුලන්නේ 
ඉතිං මළ කුණෙන් කෝමද පලිගන්නේ 


සෙනේ ඇති වෙනස කෝමද වෙනම කිරා ගන්නේ 
තනේ කිරි එකයි අම්මගෙ පැටව් උරා බොන්නේ 
ගුණේ මව්සෙනේ ලය ලේ කිරට පෙරී එන්නේ 
අනේ එහෙව් අම්මට‍දෝ මෙහෙම නිගා දෙන්නේ 


පිණේ ‍එකතුකර ඇත්තන් වනේ සැරිසරන්නේ 
තුනේ පිටකයෙන් නිවනට පාර කපා ගන්නේ 
කණේ ඇණ ඇණම බුදුබණ බොක්ක පුරෝ ගන්නේ 
දෙණේ පළිගසන තිරිසන් රටකද අපි ඉන්නේ....?













උතුරු වසන්තය ....













මැරි මැරී වැටෙන මිනිසුන් අතර

නිවි නිවී දැල්වුනු පනකෙන්ද රැගෙන

මුක්තිය පතා මුක්ත කලාපෙට 


කරන්නට යෙදුනු අභිනික්මන



හැපී පය කාගේ හෝ මළ කඳක

ලය කඩා වැටී ඉකිබින්ද බව

ජීවිතය ඉල්ලමින් මග වැටුනු 


අයට පිළිතුරු නොදී පැමිණි බව



කළපුවල බැස එන විට

උණු කඳුළු සේදී ගිය බව

ගැඹුර මැනගනු නොහැකිව 


දරු පැටව් කළපුවට භාර කළ බව



ෂෙල් වැසි වැටුනු තැනදී

ඔප්පු ගිනබත් වූ බව

බුක්තිය තිබුණු තැනකම

හිමිකම අහිමි වූ බව



කෆීර් පක්ෂීහු 


දඩයමට වැද ගිය තැන

අපි තවම සිටින වග

වෘකයන් අතර නග්නව



අකුලා පැමිණි ජීවිතය 
එලාගන්නට තැනක් නැතුවාම 
වසන්තය එතැයි හීනෙකින්වත් 
ඔබ සිතාගන්නේ කෝම.....?









දුෂණය වන්නියකගේ සිතුවිලි .......



                    


හිතක් පපුවක් නැති හුළගට 
රෙදිත් අදින්න  පුළුවනි 
අතක් බිඳ පාන්කඩ ඔබ ඔබ 
හිසත් සිඹින්න පුළුවනි 
ඇසක් යට  පැන් ඉහිරන 
විරිත් තියෙන්න පුළුවනි 
කෙනෙක්  නැතියෙන් තෙතක් උහුලන 
තිතත් තියන්න පුළුවනි. 

විළිලාපු කඳුළු ගබ්සා වෙද්දී 
ස්වරාලය හුස්ම හිර කරනවා 
නිය පහුරු යට ඇඳුම උදුරද්දී 
මල් වතුර නාපු හැටි පේනවා 
පොඩි උන්ට ලේ පොවන තන මඩල 
දත් පාර වැදී වැදී අඬනවා
උඹේ තද ලේ නහර නලියද්දි 
ප්‍රාණ සම ලේ බිඳුව යදිනවා.....

කරුවලෙත් එළිය මුණ ගැහෙනකොට 
තරුවලත් වේදනා 
දරුණු ඇස් රාගයෙන්  පිරෙනකොට 
කරුවලයි තාරකා .....

දකුණේ නෑදෑයින් වෙත......

 බාරවුණු දෙමළ සෙනගට
රහට බත පිස පිස
පාර්සල් බඳිනට
වෙහෙස වෙන මගෙ නෑයිනි
දෙන්න ඔය අත් සිපගන්න.

කිරිබත් හොඳයි උදයට
ලූනු මිරිස් හා බුදිනට
කෙසෙල් කොළයක එතු විට
සුවඳත් හමයි පදමට.

බල මාළු ඇඹුල් තියලට
පොළොස් මාළුව ආ විට
මොන අඩු වැඩිද දවලට
සිංහල හාලෙ බතකට.

ලේ ගලන දෙතොළත
දැවිල්ල නිවාගන්නට
වෙන අතුරුපස කුමටද
රුහුණු මීකිරි ඇති විට.

නිමාවක් නැති රෑ කල
උදා වූ බව නොහැගෙන
රෑට - අඳුරෙම ගිලිනට
කුරහන් තලප කදිමය.







ඩිමොක්-කොරසි නං ගොයියෝ වේරමණී!




                                   



"රට කරවන්ට නම් සතුරන් නැතිව වටේ 
හොඳ මුසලෝනියෙකු ආවොත් පිනකි රටේ!" 
වතේ මෙතේ ඇති මුත් ගිනි බටේ කටේ 
ලංකට් බුරුල් වී හැංගුනු කිණිසි වැටේ 

ඉක්කා ගහයි පොරජා තන්තර වාදේ 
ලොක්කා හරි ෂෝක් ඔබෙ හිට්ලර් වාදේ 
දොක්කා ගෙන එතොත් "මානව හිත වාදේ" 
කක්කා වුනත් පුසුඹයි ඔබෙ නැහැ වාදේ 

දඹුලු ගොහිං තලගොයි මස් අඹරන්ට 
දුඹුළු බැඳුණු නම හෝදාගෙන එන්ට 
නෙරළු තුරක් යට අද හෙට බුදු වෙන්ට 
කුරුළු වැදි රජුට නිසි විවරණ දෙන්ට 

අඟුල් මල්, අලව් යකු බුදු ළඟ නැමුණී 
සඟුන් දුටොත් එදවස රජුනුත් නැඟුනී 
එවන් කෙසෙර සිහ නැටි යටි කුඹු කෙරුණී 
රජුන් ළඟ රෙවිණි! යට අඳනය තෙමුනී 

වැඩක් නොවෙයි මහන්සියෙන් කඩපු පැණී 
ගොඩක් බිම හැළුණි හියුමොං රයිට් ඇනී 
මඩක් එතොත් අපි දෙඤ්ඤං "පිරිත් පැණී" 
ඩිමොක්-කොරසි නං ගොයියෝ වේරමණී!












(අ)මුතු ඇටේ






මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට!
-පුවතක්

පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ 
නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ 
පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ 
කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ! 


"අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම 
අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම 
තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම 
අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම!" 


සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී 
හම්මා! සනුහරේ දුව දුව පිං කොරතී 
පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී 
උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී 


ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ 
සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ 
මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ 
පටලය බලාගෙන! කල්චර් කන්යාවේ 


නැත්තන් ලගින පොඩි කාමර වලට පනී 
ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී 
"අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී 
දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී











ඉවසීමය සටන, කොහි වෙද කමටහන.........








මේ විසල් තුරු හිස
ලිහන විට මුහුලස
අතු පතර සරතැස
නිවනු නොහෙනුය අසිනි වැසි වැස
අවසන් හුස්ම පොද
පවනට පොවන පත් මත
මතක දෙනුවන් මැද
මතකයන් ඇත ඉසිඹුවක් ලද
ගිලිහෙන අතරතුර
බෙනෙනුය කනට කර
සුළඟෙනුත් හිරිහැර
ආදරයටද මෙබඳු අනදර
පේ‍්‍රමය ළැමද රැගෙනා
පාමුල රැඳෙනු නොදෙනා
පා කර හරිනු කොතැනා
සීතල දෙණකි මෙතැනා
පඬු පෑ ය ලවනත
ගුරු පෑ ය කොපුලත
අවසාන මඳහස
රිදවීද හදවත
සළුපිළි මසා ඇඟලන
හිසේ කුසුමන් පලඳින
සංසාරය මෙතැන
නිරුවත පවා උසුලන
වෙහෙස යනු සතුටය
පහස නොලසව ලබනුය
රහස පවසන දෙය
අහස දැක ගනු පිණිසය
මන්දාරමත් එළියයි
සංතාපයත් සොඳුරුයි
නින්නාදයත් නිහඬයි
සංවේගයත් සමඟයි
මහා ගණඳුර අරුණය
බැඳීමම වේ උරණය
වියපත් බවම තරුණය
ජීවිතයමද මරණය
අලුත් දලුවක් විළිලන
දිනෙකට ඇඟිළි ගැන ගැන
සිටින විට නොහැඟෙන
හැඟුම් ගිළිහෙන පතෙක නොරැඳෙන
ඉවසීමය සටන
කොහි වෙද කමටහන




මතක පින්සල.............


                                         




කවක් ගැබ වැද වදන් විළිලයි සිර වෙවී
ඇසක් රතු වෙත වෙරළු මල් හිත දිය නොවී
මලක් යැයි පෙම් බැන්ද කටුවට වසඟ වී
රළක් නොනගන සයුර ඉහිනා හිතවතී

ගිමත් කල් ඇඳි වසත් වත රැඳි පෙම් කවි
තිතක් අරගෙන කොමාවක් නුඹ හැදු හැටී
තතක් නොබිඳ ම වෙණ වැයූවෙක් ලොව නැතී
විසක් පුරවා විතක් මග කෙළවර ඇති

විරිත් නොමදැන මැවූ පද ළඟ පටලැවී
සඳක් බව නුඹ අමතක ද ළඟ තරු එළි
රැය ත් මිය යා යුතු යි ඉර ඇවිදින් යළි
ගෙනත් දේවි ද කවුරු බිම ලූ හසරැළි

සමු අරන් දුර ඇවිද ගොස් බර හදවතින්
තබා සී පැස කාලයේ සෙවණැලි මතින්
මතක පින්සල රැගෙන දවසක සෙනෙහසින්
අඳිමි අහසෙහි බිඳුණු බඳුනක රුව සෙමින්

අලූත් අවුරුද්ද සහ පාස්කුව






දැන් ඉතින්
මැදින් මාසෙත් ඉවරයි.
සඳුත් අඳුර ම මතුරයි

එකල්හි
අකල්හි හමන කච්චාන් හුළඟට
එරබදු නෙත් කෙවෙනි පිපිරී
ලේ ගලයි.
නොනගතය අංග විකලයි
ඒත් අවුරුදු තරුණයි

කොවුලා ගීත ගැයුවත්,
කපුටු කූඩුව විතරයි
හොට ඇරී ගී බිම වැටෙන කොට
අලූත් අවුරුදු සමරයි

පංචා අතක් දාන්න ආසයි
ඒත් ගොංගො නෑ.
ඔංචිලි වාරමක් ලඹ දෙයි
ඒත් රුකුල් ගන්නට වෙර නෑ

මිනිස් ගිනි මැලයකින්
රත් කෙරෙන රබානක් පුපුරයි
මහ සිකුරාදා එන්නෙත්
අවුරුද්ද ළඟ ළඟමයි.
මීන රාශිය මේෂ රාශිය
රිදී තිහකට විකුණයි

වන්නියට ගෙත්සෙමෙනිය සම වන
සොඳුරු සිහිනෙට වෙඩි වදින විට
අහර වළඳන නැකතයි
හිසෙහි තෙල් ගල්වන්න එනු මැන
කුරුස ගහ යට සෙවනයි.

පාස්කුව එන බක් මහේ මැද
සොහොන් ගර්භය විවරයි.
ජාතියක උත්තානයට පෙර
වන්නි ගම් දොර නිසලයි

දැන් ඉතිං අමාවක අවුරුද්ද







අයිෆලය මුදුනට
බගසඳ නැගී එන විට
රයිෆලය ගෙන සිහිනෙන්
ගිනි බිඳින්නෙමි පපුවට

දැන් ඉතිං අමාවක අවුරුද්ද

ගණ අන්ධකාරයට හිස නමන
එහෙත් එළියම වපුරන
පහන් කණු වෙත ගිනි බිඳ බිඳ
ලා චැපල් වීදියේ සිහිනයෙන් ඇවිදිමි

නාඳුනන දෙමළ හිතකට
වනක්කම් කියමි
නෙරප්පෙට්ටිය ඉල්ලමි

ජීවිතය ඉල්ලන දෙනෙතකින්
ගිනිකූරු ඉල්ලන මිනිසෙක් ද මම?
මහ මිනිස් ගිනි මැලයකින්
සුරුට්ටු පත්තු කළ පරපුරක

සිගරට්ටුවක් උර උර
ඉබාගාතේ ඇවිදින
මළ මිනිසකු
ඔබේ අවුරුදු සිහිනයේ
කෙළවරකවත් සිටියා ද?

ඔහුට තිබුණා ගෙයක්
නිදියන්න ඇඳක් නැති
ඔහුට තිබුණා ගමක්
ඇවිදින්න මගක් නැති
ඔහුට තිබුණා රටක්
හිනැහෙන්න ඉඩක් නැති......


ඒ නිසයි අමාවක අවුරුද්ද

ඔබ ඔතන තළුමරන

ලේ සුවඳ කිරිබතම

කොයි තරම් රසවත් ද?

එළියවත් අපට දෙන්න ..........






ගිණි වැදුණු 
සඳ වැටී 
ආරුගම්බේ බොක්කට 
එනපාර ඔබ එනවිට 
බලන්නට කඳවුරට 
අරන් එන්න 
පුර හඳ මට ................
ගිණි ගහන වැලි තලයේ 
සීතලට ගුලි වෙන්න 
ඔබේ වෙඩි පහරින් පණ අදින 
පුර හඳ මට 
අරන් එන්න.........
ලේ වලින්ම විතරක් 
නැහැවුණු මුළු උතුරම 
කළුවරේ වසා දමන්නට 
ෂෙල්   ගසා කුඩුකළ
පුරහඳ මට 
අරන් එන්න...........
උපන් බිම් වල අපේ 
සොල්දාදුවෝ පුරවල 
මේ බිමත් අපේ යයි කියන විට 
පුර හඳ විතරක්වත් 
අපිට දෙන්න 
ඉතිරි තුන් ලක්ෂයේම 
ජීවිතත් අරගෙන ..........


යුටෝපියාවට එන්න ......






බිඳුණු තල් රුක් 

අතර ඇති නිහඬ බව
තෘණ පඳුරක් වැවෙන්නේ නැති 

අවසන් සංග්‍රාම භූමිය

මදි  පාඩුවට  ඕනේ  නම් 

ගාල් කර ඇති අපේ ජීවිත 

තව වෙන මොනවාද ඕනේ 

          විජයග්‍රහණය සමරන්න ..............

(ක)සාදය .........




නැටි කැඩුණු 
බලාපොරොත්තු 
ගුලි ගැහුණු, බුලත් හෙප්පුව 
සම්ප‍්‍රදායෙන් වහගෙන වඩාගන්නී 
කුර ගගා නැකත ආ කලට එය 
පුරුෂ ප‍්‍රාණයක් අතට දෙන්නී 
සියවැනි වතාවටත් ඇය 
එරබදු ගහේ 
කෙළ කෝටියක් මල් ගනින්නී. 
බිම වැටී ළය පැළුණු හෙප්පුව 
සාලයෙන් කුස්සියට 
හිස මුදුනේ තබා ගෙන වඩම්මන්නී. 

සරදියෙල් විසින් ................




තුංග උතුවන්කන්ද පාමුල 
කෝපි මල් අහුරක් තියා 
මම්මලේ මට ඇහෙනවා බන් 
ඉකිබිඳින හඬ මේනකා... 

බංගලාවක් බින්ඳ දවසක 
හංගගෙන ආ රිදී කූරක් 
කෝපි මල් කළඹක් ම ගැවසූ 
කෙස් රොදක් අතුරින් යවා 
හිඟුල ඔය ළඟ වාඩිකර උඹ 
හැඩ බලන්නට ආයෙ දවසක් 
එන්නෙ නෑ මට මේනකා... 

තුංග උතුවන්කන්ද පාමුල 
කෝපි මල් අහුරක් තියා 
මම්මලේ මට ඇහෙනවා බන් 
ඉකිබිඳින හඬ මේනකා... 




(වර්ෂ 1864 ක් වූ මැයි මස සත් වැනිදා බෝගම්බරදීය)

A 9 පාරෙන් එන්න



මුහමලයේදි වෙයි ජුංඩක් ඇඹරෙන්ඩ 
දූවිලි වදී මුකවාඩම් ගෙනියන්ඩ 
කිලිනොච්චියෙදි කමු යටි බඩ හිරවෙන්ඩ 
කෝලං නොකර කැමරාවට හිනැහෙන්ඩ 

බය හිතෙනා නමුත් සොමි ගමනකි ඔන්න 
නාගදීපයට වේලාහන යන්න 
වාලම්පුරි තිබේ අඩුවට ගෙන එන්න 
තල් රා මඳ පමණ ගෙන නිවනට යන්න 

මුලූ රට පුරා සිරියාවයි එක හීයයි 
කලූ වර දුවයි අම්බානක හඳ පායයි 
මුලූ ගැන්නී මොකද කාටත් ජය පාටයි 
පුලූ පුලූවං එවුං හෙලූවෙං රජු ගාවයි 

කාලේ ඉතින් ඉවරයි අපි දුක් වින්ද 
තාප්පයේ අලවා ඇත දත් ඇන්ද 
බට්ටෝ නැති පොළව ලං වී ලෙවකන්ඩ
මහත්තුරුනි   ජැෆ්නා වැඳ ගෙන එන්ඩ 



මිනී කපන්නාගේ මධුසමය ...


නෙක පැතුම් හිත පුරා 
කෝල බැලුමින් මඟුල් යහනත 
දුහුල් ඇඳුමින් සැදී පැහැදී 
කිම්ද විමසුම් බැලුම් 
දනිමි මම් සොඳුරියේ 
"ප්‍රියාදරය කිම පමා මා වැළඳ ගන්නට?" 

වීනස් රුව විලසට 
මා දෑස ළඟ නිරාවරණිත 
උකුල, ළැම හස, සුමුදු දඟ යුග 
ජීවිතේ අනියත අපුල මිස 
කෙළෙස නම් හිත උපදවන්නද..? 

වසර ගණනක් කපා සුණු කළ 
කිරිගරුඬ හීතල සිරුරු ළඟ 
නුරා සිතුවිලි අකම්පාලව 
හැර ගියා බුදු බණ සපථ කොට... 

පැල් බැඳන් උන් සහස් බැමි බිඳ 
රාග සිත මා සතපවන්නට 
ලැබුණු'මුත් මට සියළු අවසර 
ක්ෂේම භූමිය නම් නොවේ එය 
කෙසේ වටහා දෙමිද මම 
සොඳුර නුඹ දෙනෙත් ළඟ 
රමණයට ඇරයුම් කරන 

ඇයි ......................

මේ කාටිසීය තලයේ 
මගේ ලක්ෂයේ
"ඛණ්ඩාංක"
හොයල දෙන්
කාටවත්ම බැරි 
ඇයි ?

සරසුලක ආත්මය





නිය පිටින් ගැහුවත් හෙමින්
වැර දමා හැප්පුවත් මේසයක
එකම එක සරයක්
හැමවිටම
එකම එක
සරයක්
මුමුණාය සරසුල

තලා යකුලෙන්
මිරිකා යකඩ අඬුවකින්
අඹරවා හකුළුවා
වකුටු කර අත්
බොල් කලත් කටහඬ
උගුළුවා හදවත
නොහඬා ගතම දෙදරා
සිටින අත් හකුලා
වකුටු වී ඇඹරුණු
සරසුලක ආත්මය
ගැහෙන්නේ සදාකල්








අනුන්ගේ සිහින මමත් දකිමි 
එකම එක
ස්වරයකින්මය.

"වීථියේ දරුවාගේ කව"


                                 පියයුරු කපා දැමූ කල 

විස්කෝතු කව කවා 
මා රැක්ක අම්මා 
නුඹය 

පව් නොකළ වුන් 

ගල් ගසන කල මට 

ඉදිරියට පැන 

ඇටකෝටු ළය පෑව අම්මා 

නුඹය 

පාන්පෙති, කට්ටසම්බෝල බදාමෙන් 
ගඩොළු බිත්ති ආමාශය 
කපරාරු කරගන්නී 


පොල් ඉරටු සේ කෙට්ටු 

ඇඟිලි තුඩුවලින් ඇය 

සෙනෙහසේ කළාලය 

ලෝකාවසානය තෙක් ම වියන්නීය 

ගොම පොළොවේ 

             ගත එළාගන්නීය ...................

"දුෂ්කර පළාතේ අකීකරු සිසුවා"


පාසල නිමා වී ගොසින
හේන මත උදැල්ලෙන්
මහා රචනාවක් ලියන්නා
වාර විභාගයට
පොත පුරා
කරගැටයක් සදිසි ලොකු බිංදුවක් ලබන්නා
බඩගින්නේ මියෑදුණු
වාර ගණන එකතු කොට
කොටුරූල් කොළයක සතපවා
මහා සූත‍්‍රයක් තනන්නා
විසඳනා ක‍්‍රමයක් නොදන්නා
"අම්මාගේ පපුව කැක්කුම
මනින්නට නොහැකි
මේ අඩිකෝදුව කුමකට දැයි
මහා හයියෙන්ම අසන්නා"
සියල්ල ම පසිඳ දැන ගත්
මගේ මුල් ගුරුතුමනි
ඉතිං
විද්‍යා පොතේ
සමබල ආහාර වේල
පිසෙන පිට
ඉරා කෑ හැකි ද
වන්නියේ මන්දපෝෂිත දරුවන්ට
අඩිරූල් අත්, පා වල ලේ පිරෙන්නට?  

ඉකි නොබිඳිනු මැන සිහින් සරින් ......

බොඳ උන දෑසින්  එපා බලන්නට 
වෙන්වී යන්නට මොහොත ලඟයි 
මා ලය තෙරපෙන දුකට හඬන්නට 
එපා යලිත් මා සිත පෑරෙයි......

රේල් පීලි දෑලේ පියවර ලන 
අප එක්වන ඉම නොනිමි දුරයි 
සිල්පර කොට මත බොඳව ගියාවේ 
අපේ කඳුළු මුළු ලොවට බරයි .........

සැමරුම් හසුනක් පෙරලා දුන්නත් 
හදවත සෙනෙහෙන් බැදේවිදෝ
අප සිත හඬනා සුසුමක පවනින් 
ඇවිලෙන ගිනි දැල් නිවෙවිදෝ .....

අද හිනැහී කල්පයක් හඬන්නට 
ඔය නෙතු රිදවනු නොහැකි බැවින් 
වෙන්වී යන්නට පව් කල මා ගැන 
ඉකි නොබිඳිනු මැන සිහින් සරින් ......