A 9 පාරෙන් එන්න



මුහමලයේදි වෙයි ජුංඩක් ඇඹරෙන්ඩ 
දූවිලි වදී මුකවාඩම් ගෙනියන්ඩ 
කිලිනොච්චියෙදි කමු යටි බඩ හිරවෙන්ඩ 
කෝලං නොකර කැමරාවට හිනැහෙන්ඩ 

බය හිතෙනා නමුත් සොමි ගමනකි ඔන්න 
නාගදීපයට වේලාහන යන්න 
වාලම්පුරි තිබේ අඩුවට ගෙන එන්න 
තල් රා මඳ පමණ ගෙන නිවනට යන්න 

මුලූ රට පුරා සිරියාවයි එක හීයයි 
කලූ වර දුවයි අම්බානක හඳ පායයි 
මුලූ ගැන්නී මොකද කාටත් ජය පාටයි 
පුලූ පුලූවං එවුං හෙලූවෙං රජු ගාවයි 

කාලේ ඉතින් ඉවරයි අපි දුක් වින්ද 
තාප්පයේ අලවා ඇත දත් ඇන්ද 
බට්ටෝ නැති පොළව ලං වී ලෙවකන්ඩ
මහත්තුරුනි   ජැෆ්නා වැඳ ගෙන එන්ඩ 



මිනී කපන්නාගේ මධුසමය ...


නෙක පැතුම් හිත පුරා 
කෝල බැලුමින් මඟුල් යහනත 
දුහුල් ඇඳුමින් සැදී පැහැදී 
කිම්ද විමසුම් බැලුම් 
දනිමි මම් සොඳුරියේ 
"ප්‍රියාදරය කිම පමා මා වැළඳ ගන්නට?" 

වීනස් රුව විලසට 
මා දෑස ළඟ නිරාවරණිත 
උකුල, ළැම හස, සුමුදු දඟ යුග 
ජීවිතේ අනියත අපුල මිස 
කෙළෙස නම් හිත උපදවන්නද..? 

වසර ගණනක් කපා සුණු කළ 
කිරිගරුඬ හීතල සිරුරු ළඟ 
නුරා සිතුවිලි අකම්පාලව 
හැර ගියා බුදු බණ සපථ කොට... 

පැල් බැඳන් උන් සහස් බැමි බිඳ 
රාග සිත මා සතපවන්නට 
ලැබුණු'මුත් මට සියළු අවසර 
ක්ෂේම භූමිය නම් නොවේ එය 
කෙසේ වටහා දෙමිද මම 
සොඳුර නුඹ දෙනෙත් ළඟ 
රමණයට ඇරයුම් කරන 

ඇයි ......................

මේ කාටිසීය තලයේ 
මගේ ලක්ෂයේ
"ඛණ්ඩාංක"
හොයල දෙන්
කාටවත්ම බැරි 
ඇයි ?

සරසුලක ආත්මය





නිය පිටින් ගැහුවත් හෙමින්
වැර දමා හැප්පුවත් මේසයක
එකම එක සරයක්
හැමවිටම
එකම එක
සරයක්
මුමුණාය සරසුල

තලා යකුලෙන්
මිරිකා යකඩ අඬුවකින්
අඹරවා හකුළුවා
වකුටු කර අත්
බොල් කලත් කටහඬ
උගුළුවා හදවත
නොහඬා ගතම දෙදරා
සිටින අත් හකුලා
වකුටු වී ඇඹරුණු
සරසුලක ආත්මය
ගැහෙන්නේ සදාකල්








අනුන්ගේ සිහින මමත් දකිමි 
එකම එක
ස්වරයකින්මය.

"වීථියේ දරුවාගේ කව"


                                 පියයුරු කපා දැමූ කල 

විස්කෝතු කව කවා 
මා රැක්ක අම්මා 
නුඹය 

පව් නොකළ වුන් 

ගල් ගසන කල මට 

ඉදිරියට පැන 

ඇටකෝටු ළය පෑව අම්මා 

නුඹය 

පාන්පෙති, කට්ටසම්බෝල බදාමෙන් 
ගඩොළු බිත්ති ආමාශය 
කපරාරු කරගන්නී 


පොල් ඉරටු සේ කෙට්ටු 

ඇඟිලි තුඩුවලින් ඇය 

සෙනෙහසේ කළාලය 

ලෝකාවසානය තෙක් ම වියන්නීය 

ගොම පොළොවේ 

             ගත එළාගන්නීය ...................

"දුෂ්කර පළාතේ අකීකරු සිසුවා"


පාසල නිමා වී ගොසින
හේන මත උදැල්ලෙන්
මහා රචනාවක් ලියන්නා
වාර විභාගයට
පොත පුරා
කරගැටයක් සදිසි ලොකු බිංදුවක් ලබන්නා
බඩගින්නේ මියෑදුණු
වාර ගණන එකතු කොට
කොටුරූල් කොළයක සතපවා
මහා සූත‍්‍රයක් තනන්නා
විසඳනා ක‍්‍රමයක් නොදන්නා
"අම්මාගේ පපුව කැක්කුම
මනින්නට නොහැකි
මේ අඩිකෝදුව කුමකට දැයි
මහා හයියෙන්ම අසන්නා"
සියල්ල ම පසිඳ දැන ගත්
මගේ මුල් ගුරුතුමනි
ඉතිං
විද්‍යා පොතේ
සමබල ආහාර වේල
පිසෙන පිට
ඉරා කෑ හැකි ද
වන්නියේ මන්දපෝෂිත දරුවන්ට
අඩිරූල් අත්, පා වල ලේ පිරෙන්නට?  

ඉකි නොබිඳිනු මැන සිහින් සරින් ......

බොඳ උන දෑසින්  එපා බලන්නට 
වෙන්වී යන්නට මොහොත ලඟයි 
මා ලය තෙරපෙන දුකට හඬන්නට 
එපා යලිත් මා සිත පෑරෙයි......

රේල් පීලි දෑලේ පියවර ලන 
අප එක්වන ඉම නොනිමි දුරයි 
සිල්පර කොට මත බොඳව ගියාවේ 
අපේ කඳුළු මුළු ලොවට බරයි .........

සැමරුම් හසුනක් පෙරලා දුන්නත් 
හදවත සෙනෙහෙන් බැදේවිදෝ
අප සිත හඬනා සුසුමක පවනින් 
ඇවිලෙන ගිනි දැල් නිවෙවිදෝ .....

අද හිනැහී කල්පයක් හඬන්නට 
ඔය නෙතු රිදවනු නොහැකි බැවින් 
වෙන්වී යන්නට පව් කල මා ගැන 
ඉකි නොබිඳිනු මැන සිහින් සරින් ......

නමුදු මම පෙම් නොකර හිත හදන්නේ කොහොම .........


ඇණ ගැසූ අතකින් දුක අනන්නේ කොහොම
ඇණ ගැසූ අතකින් ඇස පිසින්නේ කොහොම
ඇණ ගැසූ අතකින් අත වනන්නේ කොහොම
ඇණ ගැසූ අතකින් කවි ලියන්නේ කොහොම

උදුරලා දැමුයෙන් මුල් අදින්නේ කොහොම
ඉරිතලා ඇතියෙන් වැව් පිරෙන්නේ කොහොම
පරඬලා හඳකින් එළිය දෙන්නේ කොහොම
නියඟලා මලකින් සුවඳ එන්නේ කොහොම

බිඳ දැමූ දෙපයින් නැගිට ඉන්නේ කොහොම
වෙඩි තැබූ ළයකින් හුස්ම ගන්නේ කොහොම
තටු කැපු හිතකින් පිය හඹන්නේ කොහොම
නම කෙටූ බිමකින් ඉවත යන්නේ කොහොම

මලානික ඇසකින් තෙත උනන්නේ කොහොම
වලාකුළු අතරින් තරු ලිහෙන්නේ කොහොම
වෙලාවට කලියෙන් හද ගැහෙන්නේ කොහොම
විළාපය අතරින් කවි ඇහෙන්නේ කොහොම

වදන් වැල සැකෙවින් ගොණු කරන්නේ කොහොම
නිවන් මඟ සැතෙකින් නො රිදවන්නේ කොහොම
දුරින් හිඳ සැණෙකින් ළඟ රැඳෙන්නේ කොහොම
ඉතින් අප සැබැවින් හමු නොවන්නේ කොහොම

සිරි කාලකන්ණි ගේ පාපොච්චාරණය ..


මෙදා නොමැති ඉසුරක් ලැබගනු පිණිස 
ලබා ශිල්ප පුරවා ගත්තෙමි සිරස 
දම එන්න සිදුවූ විට විදු පියස 
මහා බරක් දුනි ඇදුරිඳු මට විගස

බත් බාගයක් අරගෙන දෙන්නෙක් කාලා 
තේ වීදුරුව තොල් හතරක් වෙත ඇදිලා
මාරු කසියෙන් විතරක් දිවි ගෙවලා
සිටි ඒ යුගයේ අපි අපිගැන නැහැ සිතලා

ලැබුවා පමණි සිප් කඳ මගේ හෙටක් සැකයි 
විඳලා යන දුක් කඳ මගේ අහස උසයි 
පෙරදා ශිල්ප ලැබුවේත් මහා මගෙහි සිටයි
මෙකලා සිටු දුවක් මට මහා බරකි සිතෙයි 


තක්සලාවේ කල මරලා එන කලට 
මව් මග බලන් ඇති තුටු වෙන්නට යසට 
සහතික කදක් ගෙනයනවා මදිවාට 
මම පෙම් නොකළ ඇය හා යන්නේ කෙලෙස 

මට සිප් පෙව්ව ඇදුරනි  මට වෙන්න සමා 
නුඹ දුව සමග ගම යන්නට නොහැක  මෙදා 
මටවත් කලක් අනියත් ලොව මෙයිට වඩා 
නැත අන් පිලියමක් ඇදුරනි වෙන්න සමා 

මව් පිය වදන් ගරුකර මා හා පැමිණි 
නුඹ රක ගන්නේ කොහොමද මම සිටු කුමරි
ඔහුවිත් නුඹව බස්සන් යයි මට සිතුනි
එනිසයි  නුඹව නැග්ගුවේ ගහකට දේවී.......

නන්ද කුමාරයා වෙත ..................

නිවූ ඇසි පිය පිපෙන්නට පෙර 
තැබූ තිලකය මැකෙන්නට පෙර  
සිව් දිසාවේම කවුළු හැරදා
ගලා එන්නට නෙක ඇනුම් පද 
ගිහින් එන්නම් කියා හනිකට 
සඳලුතලයෙන් බැස ගියා  නුඹ 
හැප්පි හැප්පි බිත්ති වල හිත 
ගස ගසා හිස ඇඳ වියල මත 
අළුයමට දුක කියද්දී මම
දාව ගිය නවදැලි හේන මත 
ප්‍රේමයේ මළකුණ වටා හිඳ
අතීතය තියනා විලාපය 
අසාවොත් නුඹ ආවොතින් හෙට 
දෙව්ලියන් පිරි තව්තිසාවේ 
මිණි තොරන් බැඳී වීදි ඇත හැර 
දෑත් බැඳ අපි ඇවිදගෙන යමු
එබී එබී කවුළුවෙන් මහා රෑ
ඉඟි කරන සිටු වරුන් සරනා
වීදි දිග කාටත් පෙනෙන්නට ...........

කොඳු තරම් කිසිවක් සවිමත්ද ?



අමර නිකැළැල් නුඹේ සිත,
මඟුලැතු දනින් නොවැටෙත,
සඳවත වෙසෙන අසපුව ,
දැහැනින් බිඳෙනු නොදෙනුව,
දෙපයේ නොලා නූපුර,
මේ පෑල දොර අස ,
රැදී හඟවමි අනතුර ,
පන් හිඳ තරව ගෙන,
තව තව ලියන් එනමුදු,
දුක් විඳ ලියන පුස්කොල, 
කළු මැද දැන්ම නොගනුව ,
දුබික් නෙක රෝ බියට,
අඩ දැනි නොවන බිජුවට ,
තව තව සොයන් එනමුදු, 
නොහෙකි  නමුදු වපුරන, 
නිලුපුල් මවන  බිජුවට, 
ගිනි කඳු නිසා මල ගිය ,
ඇහැ දුටු රුදුරු සිහිනය, 
යලි යලි දකිනු කීම නුඹ ......
රණ ගී දෙතොල පොපියන, 
තර කොට වසනු  හිත් ලෙන, 
රජ ගෙයි මගුල් බෙර හඬ,
අසිරි නොවෙයි අප හට,
ගිනි කඳු පුපුරවා ගිය කල, 
හෙට ලොව මදක් යෙහෙකිය, 
වප් මගුල දවසට බිජුවට මැනව වපුරත, 
නුඹ එහි හිදිය යුතු වෙයි,
බලයුත් මේ සෙත් කවි ගෙන ,
නික්මෙව මෙපුර තනනට,
හෙට ඉර නැගෙනු පළමුව ..................

test