ඉවසීමය සටන, කොහි වෙද කමටහන.........








මේ විසල් තුරු හිස
ලිහන විට මුහුලස
අතු පතර සරතැස
නිවනු නොහෙනුය අසිනි වැසි වැස
අවසන් හුස්ම පොද
පවනට පොවන පත් මත
මතක දෙනුවන් මැද
මතකයන් ඇත ඉසිඹුවක් ලද
ගිලිහෙන අතරතුර
බෙනෙනුය කනට කර
සුළඟෙනුත් හිරිහැර
ආදරයටද මෙබඳු අනදර
පේ‍්‍රමය ළැමද රැගෙනා
පාමුල රැඳෙනු නොදෙනා
පා කර හරිනු කොතැනා
සීතල දෙණකි මෙතැනා
පඬු පෑ ය ලවනත
ගුරු පෑ ය කොපුලත
අවසාන මඳහස
රිදවීද හදවත
සළුපිළි මසා ඇඟලන
හිසේ කුසුමන් පලඳින
සංසාරය මෙතැන
නිරුවත පවා උසුලන
වෙහෙස යනු සතුටය
පහස නොලසව ලබනුය
රහස පවසන දෙය
අහස දැක ගනු පිණිසය
මන්දාරමත් එළියයි
සංතාපයත් සොඳුරුයි
නින්නාදයත් නිහඬයි
සංවේගයත් සමඟයි
මහා ගණඳුර අරුණය
බැඳීමම වේ උරණය
වියපත් බවම තරුණය
ජීවිතයමද මරණය
අලුත් දලුවක් විළිලන
දිනෙකට ඇඟිළි ගැන ගැන
සිටින විට නොහැඟෙන
හැඟුම් ගිළිහෙන පතෙක නොරැඳෙන
ඉවසීමය සටන
කොහි වෙද කමටහන




මතක පින්සල.............


                                         




කවක් ගැබ වැද වදන් විළිලයි සිර වෙවී
ඇසක් රතු වෙත වෙරළු මල් හිත දිය නොවී
මලක් යැයි පෙම් බැන්ද කටුවට වසඟ වී
රළක් නොනගන සයුර ඉහිනා හිතවතී

ගිමත් කල් ඇඳි වසත් වත රැඳි පෙම් කවි
තිතක් අරගෙන කොමාවක් නුඹ හැදු හැටී
තතක් නොබිඳ ම වෙණ වැයූවෙක් ලොව නැතී
විසක් පුරවා විතක් මග කෙළවර ඇති

විරිත් නොමදැන මැවූ පද ළඟ පටලැවී
සඳක් බව නුඹ අමතක ද ළඟ තරු එළි
රැය ත් මිය යා යුතු යි ඉර ඇවිදින් යළි
ගෙනත් දේවි ද කවුරු බිම ලූ හසරැළි

සමු අරන් දුර ඇවිද ගොස් බර හදවතින්
තබා සී පැස කාලයේ සෙවණැලි මතින්
මතක පින්සල රැගෙන දවසක සෙනෙහසින්
අඳිමි අහසෙහි බිඳුණු බඳුනක රුව සෙමින්

අලූත් අවුරුද්ද සහ පාස්කුව






දැන් ඉතින්
මැදින් මාසෙත් ඉවරයි.
සඳුත් අඳුර ම මතුරයි

එකල්හි
අකල්හි හමන කච්චාන් හුළඟට
එරබදු නෙත් කෙවෙනි පිපිරී
ලේ ගලයි.
නොනගතය අංග විකලයි
ඒත් අවුරුදු තරුණයි

කොවුලා ගීත ගැයුවත්,
කපුටු කූඩුව විතරයි
හොට ඇරී ගී බිම වැටෙන කොට
අලූත් අවුරුදු සමරයි

පංචා අතක් දාන්න ආසයි
ඒත් ගොංගො නෑ.
ඔංචිලි වාරමක් ලඹ දෙයි
ඒත් රුකුල් ගන්නට වෙර නෑ

මිනිස් ගිනි මැලයකින්
රත් කෙරෙන රබානක් පුපුරයි
මහ සිකුරාදා එන්නෙත්
අවුරුද්ද ළඟ ළඟමයි.
මීන රාශිය මේෂ රාශිය
රිදී තිහකට විකුණයි

වන්නියට ගෙත්සෙමෙනිය සම වන
සොඳුරු සිහිනෙට වෙඩි වදින විට
අහර වළඳන නැකතයි
හිසෙහි තෙල් ගල්වන්න එනු මැන
කුරුස ගහ යට සෙවනයි.

පාස්කුව එන බක් මහේ මැද
සොහොන් ගර්භය විවරයි.
ජාතියක උත්තානයට පෙර
වන්නි ගම් දොර නිසලයි

දැන් ඉතිං අමාවක අවුරුද්ද







අයිෆලය මුදුනට
බගසඳ නැගී එන විට
රයිෆලය ගෙන සිහිනෙන්
ගිනි බිඳින්නෙමි පපුවට

දැන් ඉතිං අමාවක අවුරුද්ද

ගණ අන්ධකාරයට හිස නමන
එහෙත් එළියම වපුරන
පහන් කණු වෙත ගිනි බිඳ බිඳ
ලා චැපල් වීදියේ සිහිනයෙන් ඇවිදිමි

නාඳුනන දෙමළ හිතකට
වනක්කම් කියමි
නෙරප්පෙට්ටිය ඉල්ලමි

ජීවිතය ඉල්ලන දෙනෙතකින්
ගිනිකූරු ඉල්ලන මිනිසෙක් ද මම?
මහ මිනිස් ගිනි මැලයකින්
සුරුට්ටු පත්තු කළ පරපුරක

සිගරට්ටුවක් උර උර
ඉබාගාතේ ඇවිදින
මළ මිනිසකු
ඔබේ අවුරුදු සිහිනයේ
කෙළවරකවත් සිටියා ද?

ඔහුට තිබුණා ගෙයක්
නිදියන්න ඇඳක් නැති
ඔහුට තිබුණා ගමක්
ඇවිදින්න මගක් නැති
ඔහුට තිබුණා රටක්
හිනැහෙන්න ඉඩක් නැති......


ඒ නිසයි අමාවක අවුරුද්ද

ඔබ ඔතන තළුමරන

ලේ සුවඳ කිරිබතම

කොයි තරම් රසවත් ද?

එළියවත් අපට දෙන්න ..........






ගිණි වැදුණු 
සඳ වැටී 
ආරුගම්බේ බොක්කට 
එනපාර ඔබ එනවිට 
බලන්නට කඳවුරට 
අරන් එන්න 
පුර හඳ මට ................
ගිණි ගහන වැලි තලයේ 
සීතලට ගුලි වෙන්න 
ඔබේ වෙඩි පහරින් පණ අදින 
පුර හඳ මට 
අරන් එන්න.........
ලේ වලින්ම විතරක් 
නැහැවුණු මුළු උතුරම 
කළුවරේ වසා දමන්නට 
ෂෙල්   ගසා කුඩුකළ
පුරහඳ මට 
අරන් එන්න...........
උපන් බිම් වල අපේ 
සොල්දාදුවෝ පුරවල 
මේ බිමත් අපේ යයි කියන විට 
පුර හඳ විතරක්වත් 
අපිට දෙන්න 
ඉතිරි තුන් ලක්ෂයේම 
ජීවිතත් අරගෙන ..........


යුටෝපියාවට එන්න ......






බිඳුණු තල් රුක් 

අතර ඇති නිහඬ බව
තෘණ පඳුරක් වැවෙන්නේ නැති 

අවසන් සංග්‍රාම භූමිය

මදි  පාඩුවට  ඕනේ  නම් 

ගාල් කර ඇති අපේ ජීවිත 

තව වෙන මොනවාද ඕනේ 

          විජයග්‍රහණය සමරන්න ..............

(ක)සාදය .........




නැටි කැඩුණු 
බලාපොරොත්තු 
ගුලි ගැහුණු, බුලත් හෙප්පුව 
සම්ප‍්‍රදායෙන් වහගෙන වඩාගන්නී 
කුර ගගා නැකත ආ කලට එය 
පුරුෂ ප‍්‍රාණයක් අතට දෙන්නී 
සියවැනි වතාවටත් ඇය 
එරබදු ගහේ 
කෙළ කෝටියක් මල් ගනින්නී. 
බිම වැටී ළය පැළුණු හෙප්පුව 
සාලයෙන් කුස්සියට 
හිස මුදුනේ තබා ගෙන වඩම්මන්නී.